පාසලේ ඉතිහාසය

අලුත් අවුරුදු උත්සවය

ආගමික හා සංස්කෘතික උත්සවය

WhatsAppImage2024-06-25at123711AM.jpeg
WhatsAppImage2024-06-25at123711AM.jpeg

ඓතිහාසික මිහින්තලා පුරවරයේ අඹතලා සෙවනින් වටකොට ගත් සුන්දර ගම් භාගයක පිහිටි අඹතල චෛත්‍ය සිප එන සිසිල් සුළඟින් හා සිලි සිලි නදින් සැලොනා බෝපත් පොවට හඬගා කියනුයේ ශ්‍රී සද්ධර්මයේ ශාන්ත පණිවිඩයයි.මෙවන් රමණීය පරිසරයකින් හෙබි මිස්සක ගිරිකුල පාමුල ඊට නැඟෙනහිර දිසාවෙන් අ/පහළ හල්මිල්ලෑව විදුහල පිහිටා ඇත.මාර්ගය දෙපස පිහිටි නිවෙස් හා ගෙවතුවලින් වටකොට ගත් විදු පියස දෙස නෙත් යොමු කරන කාගේ වුවද සිත ඇදී යන්නේ නිරායාසයෙනි.විදුහල් භූමියේ සිට බලන කල නුඹ කුස ගෑවි නොගෑවි සුදෝ සුදුවතින් දිලෙනා බෞද්ධ ජනතාවගේ මුදුන් මල් කඩක් බඳු වූ මහ සෑය නෙත ගැටෙන කාගේත් සිත්සතන් තුළ වුවද බුද්ධාලම්භන ප්‍රීතිය මෙන්ම ජාතිකානුරාගය ජනිත වනවා නොඅනුමානය.
ගැමි පරිසරයක පිහිටි මෙම විදු පියස වෙතට අකුරු කරණයට පැමිණෙන පහළ හල්මිල්ලෑව,ඉහළ හල්මිල්ලෑව,පෙරියකුලම හා රඹෑව යන ගම් වාසී ගැමි ජනතාවගේ දූ පුතුනට මෙය සිතුමිණක් බඳුය.පාසල ඉදිරියේ ඇති නිල් දිය මත සුපිපි සුදු සියපතින් හා ඒ මත පැණි උරණ බිඟු කැලගේ ගුමු ගුමු නදින් මුලු පරිසරයම චමත්කාර ජනක වේ. මෙම වැවේ නිල් දියෙන් පෝෂිත වන කෙත් යාය වල පැසී මඳ සුළගේ නැළවෙන රන්වන් කරල් සෞභාග්‍ය සංකේතවත් කරයි..

මෙම පාසල වෙත ළඟා විය යුතු මාර්ගය අනුරාධපුර,ගලින්බිඳුණුවැව මාර්ගයේ තම්මැන්නාව වේළුසුමන විද්‍යාලය අසලින් දකුණට හැරි කිලෝමීටර් අටක් ආ විට කටුකෑලියාව මුස්ලිම් ගම්මානය හමුවේ. එතැනින් දකුණු දිශාව ඔස්සේ කිලෝමීටර් දෙකක් ගිය තැන මෙම පහළ හල්මිල්ලෑව විදුහල හමුවේ.